අපගේ දැක්ම

ප්‍රාදේශිය පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් කාර්යක්ෂමව හා ඵලදායීව ජනතාවට සේවය සැපයීම.

අපේ මෙහෙවර

රාජ්‍ය  ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂමව තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම

 

 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගැන 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාපේක්ෂ පිහිටීම

උතුරින් ගල්නෑව හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙන්ද, නැගෙනහිරින් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, දකුණින් මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, බටහිරින් කුරුණෑගල දිස්ත්‍රක්කයට අයත් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද මායිම්ව පිහිටා ඇත. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු මායිම ලෙස සැලකේ.

ඓතිහාසික පසුබිම

 ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රැසක් මෙම කොට්ඨාශය තුල පිහිටා ඇත. විදේශ ආක්‍රමණ වලින් රට බේරා ගැනීමට උර දුන් වීර කැප්පෙටිපොල අධිකාරම් තුමා ඉංග්‍රීසින් විසින් අල්ලාගත් ස්ථානය වන පරවහගම මෙම කොට්ඨාශයේ පිහිටා ඇත. ශ්‍රීලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල වැදගත් කමක් උසුලන, ඉන්දියාවේ ටජ්මහල් තැනීමට රෝස තිරුවානා රැගෙන ගියැයි විශ්වාෂ කරන රෝස තිරුවානා නිධිය මෙම කොට්ඨාශයේ පිහිටා ඇත. හෙල රජ දවස විශ්මිත නිර්මාණයක් ලෙස සැලකෙන ඓතිහාසික කලාවැවේ සිට අනුරාධපුර නුවර වැව දකවා ජලය ගෙන ගිය යෝධ ඇල මෙම කොට්ඨාශයෙන් ආරම්භ වේ. පුරා විද්‍යාත්මක වැදගත් කමක් උසුලන පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කොට ඇති උපුල්වෙහෙර රජමහා විහාරය, බුදුගේහින්න රජමහා විහාරය, අඹරැලි රජමහා විහාරය මෙම කොට්ඨාශයේ පිහිටා ඇත. සෞන්දර්යාතමක වටිනා කමකින් යුත් කහල්ල පල්ලකැලේ රක්ෂිතය කොට්ඨාශයේ මධ්‍යස්තව පිහිටා ඇති ජල නිධියක් වැනිය. මෙයින් පෝෂණය වන, වර්ෂය පුරා කොට්ඨාශයේ ජනතාවට පිරිසිදු ජලය සපයන ජල උල්පත් රාශියකි.

 පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග කිලෝමීටර් 226.97 කින් සමන්විත අතර එය ග්‍රාම නිලධාරි වසම් 35 කින් සමන්විතය. මෙම වසම් 35 ගම්මාන 96 කින් හා ඔලගම් 07 කින් සමන්විතය.

 

වාරිමාර්ග පද්ධතිය හා කෘෂිකාර්මික කටයුතු

 මහවැලි ජලයෙන් පෝෂණය වන මහා වාරිමාර්ග 03 කි. ඒ කලාවැව,ඉබ්බන්කටුවැවැව හා රණව වැවයි.මධ්‍යම හා සුළු ප්‍රමාණයේ වැව් සංඛ්‍යාව 885 කි. මහා වාරිමාර්ග වැව් තුන අතර ධාතුසේන රජු විසින් නිර්මාණය කරන ලද කලාවැව එකකි. කලා වැව මගින් පලාගල කොට්ඨාශයට මෙන්ම මහවැලි “එච්” කලාපයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, ඉපලෝගම,තඹුත්තේගම,රාජාංනය,තලාව, නාච්චාදූව,මධ්‍යම නුවරගම් පළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශද ජලයෙන් පෝෂනය කරයි. ඊසාන දිග මෝසම මගින් ප්‍රධාන වශයෙන් වරිමාර්ග පද්ධතිය පෝෂනය කරයි. ඊට අමතරව මහවැලි ගඟ පෝෂණය කරන මධ්‍යම කඳුකරයට ලැබෙන ජලයද ඉබ්බන් කටුව වැවට සපයමින් ප්‍රෙද්ශයේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට දායක වේ. ප්‍රදේශයේ ජනතාවගෙන් 95% ක් තම ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය කරගෙන රටට බත සපයයි.

 

 

 

News & Events

Scroll To Top